රසික ගුණවර්ධන
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා ජනාධිපති ධුරය ලබාගත් වහාම “පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසම” පිහිටවූවේය.
අදාළ කොමිසම ජනාධිපතිවරයා විසින් පිහිටවනු ලැබූවක් වන නිසාම කිසියම් අයෙකුට එහි කිසියම් ආකාරයක දේශපාලන නැඹුරුතාවක් ඇතැයි පැවසිය හැකිය. එහෙත් මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණය කිසියම් ආකාරයක දේශපාලන පක්ෂපාතීබවක් මත මෙහෙයවනවා යැයි යමෙකු කිවහොත් එය ඉහත චෝදනාව මෙන් බැහැර කළ නොහැකිය. එය ඉතා බරපතළ චෝදනාවක් බවට පත්වන්නේය. එය එසේ වන නමුත්, ඒ බරපතළ චෝදනාව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ල වී ඇත. ඡන්දයේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයක් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ විනිවිද බවකින් තොරව සිදුවන්නේ නම් කිසියම් පිරිසක් මේ ක්‍රියාත්මක වන්නේ පුරවැසියන් ඉදිරියේ තමගේ තිරපිටපතක නාට්‍යයක් රඟදැක්වීමද?
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එල්ල වන මෙම චෝදනා පිළිබඳව සඳහන් කිරීමට ප්‍රථම, මෙම පරීක්ෂණය පිළිබඳව වන ප්‍රධාන කරුණු කිහිපයක් සඳහන් කිරීම වැදගත්ය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරන්නේ පාස්කු ප්‍රහාරය සිදු වූ දිනම එනම්, දෙදහස් දහනවයේ අප්‍රේල් මස විසි එක්වනදාය. එතැන් පටන් අදාළ පරීක්ෂණය ආරම්භ වන අතර මෙම සිදුවීමට සැක කටයුතු විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විටින් විට අධිකරණයට කරුණු වාර්තා කරයි.
STP සහ හිජාස්
මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන පරීක්ෂණ ඉදිරියට යන අතර, දෙදහස් විස්සේ අප්‍රේල් මස හතරවනදා නීතීඥ හිජාස් උමාර් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබයි. නීතීඥ හිජාස් හිස්බුල්ලාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අප මීට පෙර කිහිප වතාවක් ලියා ඇති අතර කෙටියෙන් ඔහු හැඳින්වුවහොත්, ඔහු දේශපාලන ක්‍රියාකාරී නීතීඥයෙකි. මේ නිසාම ඔහු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිටුපස කිසියම් ආකාරයක දේශපාලන උවමනාවක් පැවති බවද ඇතැම් පුද්ගලයන් චෝදනා කළේය. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙදහස් විස්සේ මැයි මස දොළොස්වන දින විශේෂ විමර්ශන අංශ 3, ස්ථානාධිපති එම්.පී.එන්. දීපානි මැණිකේගේ අත්සනින් යුතුව අධිකරණයට ඉදිරිපත් කරන වැඩිදුර වාර්තාව මෙම ලිපියට අනුභූත වන කරුණු ආරම්භ කිරීමට යෝග්‍යම වේ.
අදාළ වාර්තාවේ සඳහන් වන්නේ නීතීඥ හිජාස් ඕමර් හිස්බුල්ලා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් පවතින විමර්ශනයේදී අනාවරණය වූවා යැයි දක්වන කරුණුය.
අදාළ වාර්තාවේ සඳහන් වන්නේ හිජාස් හිස්බුල්ලා විසින් Save the pearl socity (STP) නැමැති ආයතනයක් ආරම්භ කර එම සංවිධානයේ ආරම්භයේ සිටම සාමාජිකයෙකු හා උපදේශකයෙකු ලෙස කටයුතු කර 2018. 11. 05 වන දින සිට එම සංවිධානයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බවත්, එම සංවිධානය විසින් නිසි දෙමාපිය රැකවරණය නොලබන කොළඹ උතුර ප්‍රදේශයේ දරුවන් විසි හතරදෙනෙකු තෝරාගෙන පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ අල් සුහුරියා නැමති අරාබි මද්‍රසා විද්‍යාලයකට ඇතුළත් කර ඇති බවත්, එම දරුවන්ට අරාබි භාෂාව, කුරාණය සහ කරාතේ ක්‍රීඩාව උගන්වමින් මෙරට තුළ විනාශකාරී ක්‍රියාවන් සිදු කිරීමට මුස්ලිම් අන්තවාදී අදහස් පෝෂණය වන ආකාරයේ දේශන පවත්වා ඇති බවත්, යුදමය කටයුතු සඳහා ලබා දෙන ආකාරයේ පුහුණුවක් ලබා දී ඇති බවත්, අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය ඇතුළත් වීඩියෝපට පෙන්වා ඉගැන්වීම් සිදුකර ඇති බවත්, මෙම පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහරාන් රිස්වාන් සහ ඉල්හාම් පැමිණ දේශන පවත්වා බෝම්බ සහ අවි පෙන්වා පුහුණුවක් ලබාදී ඇති බවත්, නීතීඥ හිජාස් හිස්බුල්ලාද අදාළ පාසලට කිහිපවරක්ම පැමිණ ඔහු “ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදු වූ යුද්ධයේ වීඩියෝවක් පෙන්වා ඊශ්‍රායාලයේ ක්‍රිස්තියානි ආගමේ අය විසින් මුස්ලිම් පල්ලි අල්ලාගෙන සිටින බවට” ප්‍රකාශ කර ඇති බවත්, “ලංකාවේ කතෝලික අයට ගැහුවොත් තමයි ඒ කට්ටිය බය වෙන්නේ” යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත්, මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉල්හාම් මොහොමඞ් මෙම ීඔඡ සංවිධානයේ සාමාජිකයෙකු බවත්, ඔහු එහි භාණ්ඩාගාරික ලෙසද කටයුතු කර ඇති බවත්, ඔහුගේ පෞද්ගලික මුදලින් ලක්ෂ 19 කට අධික මුදලක් වැයකර පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පර්චස් 108ක ඉඩමක් මිලදී ගෙන එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකර ළමුන් පුහුණු කිරීමට කටයුතු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
එම ආයතනයේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකුව සිටි අයෙකු සිය අනන්‍යතාවය හෙළි නොකරන පදනම මත අප වෙත තොරතුර සැපයීය. එහිදී ඔහු අප සමග පැවසූ කතාවෙන් කොටසක් මේ සමග නැවත සඳහන් කරන්නේ, එම කොටස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මෙකී වාර්තාව සමග ගැළපෙන හෙයිනි.
SAVE THE PEARLS SRI LANKA එකේ පළවෙනි භාණ්ඩාගාරික වුණේ ඉල්හාම්. එයා පළවෙනි අවුරුදු දෙක ඇතුළෙ හරියට වැඩ කළේ නෑ කියල අයින් කළා.
අපි අර පුනරුත්ථාපන වැඬේ පටන් ගන්න හදද්දි ඒකට තැනක් ඕනෙ වුණා. එතකොට රිකාස් හාජියාර් කීව මම ඒකට අනුග්‍රාහකයො හොයන්නම් කියල. මොකද එයාට ගොඩක් සම්බන්ධතා තිබ්බා. එයා අනුග්‍රාහකයො පහළොවකට විතර කතා කරල තිබ්බා. එක දවසක් රිකාස් හාජියාර් ඇවිල්ල කීව එක අනුග්‍රාහකයෙක් කැමති වුණා ඉඩමක් අරන් දෙන්න කියලා. හැබැයි එයාගෙ නම කියන්න එපා කීවා, සාමාන්‍යයෙන් අනන්‍යතාව හෙළි නොකර අනුග්‍රහ දැක්වීම මුස්ලිම් සමාජය තුළ තියන සිරිතක්. ඊට පස්සෙ අපි පුත්තලමෙන් පර්චස් සීයක එකසිය දහයක විතර ඉඩමක් ගත්තා.
ඒකට උදව් කරල තියෙන්නෙ ඊබ්‍රාහිම් හාජියාර්ගෙ පවුලෙ අය. ඊබ්‍රාහිම්ගෙ එක පුතෙක්, තාම හරියට කවුද කියල දන්නෙ නෑ. ඉඩමේ අයිතිකාරයට සල්ලි දීල SAVE THE PEARLS SRI LANKA එකේ නමට ඉඩම හරවල දීල. ඒක හරියටම නීත්‍යානුකූලව වුණ දෙයක්. ඒ ගනුදෙනුවෙදි කීයක්වත් SAVE THE PEARLS SRI LANKA එකේ ගිණුමට ඇවිල්ල නෑ.
මේ සිද්ධි කිහිපය තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණා කියන ඊබ්‍රාහිම් පවුල SAVE THE PEARLS SRI LANKA එක්ක සම්බන්ධ වුණු තැන් කිහිපය. මේ ගැන සීඅයිඩී ඒක සම්පූර්ණයෙන්ම පරීක්ෂණ කළා. ඒ මද්‍රසාවලට ගියා, ඉඩම් පෙන්නුව, ඔක්කොම දේවල් කළා. ඊට පස්සෙ මේකෙ කිසි ප්‍රශ්නයක් නෑ කියල එයාල තීරණය කළා. ඔයාලට ප්‍රශ්නයක් නෑ, මේක දිගටම කරගෙන යන්න, ඔයාල කරන වැඬේ හොඳයි කියල.
2014 ඉඳල 2016 වෙනකම් ප්‍රසිඩන්ට් වුණේ රිකාස් හාජියාර්, 2016 ඉඳල 2018 වෙනකම් ශේ(ර්)ක් නජිමාන් හිටිය. 2018 ඉඳල හිජාස් හිස්බුල්ල භාර ගත්ත. හැබැයි හිජාස්ට එයාගෙ වැඩත් එක්ක හැමවෙලේම මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. එයා ගොඩක් ප්‍රසිද්ධ නිසා අපට ඒක අනුග්‍රාහකයන් ලබා ගන්න ලොකු පහසුවක් නිසා තමයි එයාව ප්‍රසිඩන්ට් විදිහට පත්කර ගත්තෙ. හැබැයි එයත් බොහොම කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණේ.
හිජාස් සහ මද්‍රසා
ඊට අමතරව අදාළ වැඩිදුර වාර්තාව හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටින්නේ අදාළ මද්‍රසා පාසලේ අධ්‍යාපනය ලැබූ දරුවන් 16 දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන ඇති බවය.
එසේම අදාළ දරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බලෙන් ප්‍රකාශ ලබාගත් බවට දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමට එක්තරා කණ්ඩායමක් ක්‍රියාකර ඇති බවත්, ඔවුන් ඒ සම්බන්ධව පොලිස් ස්ථාන වලට පැමිණිලි කළ පසු ඒ සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, ඊට අමතරව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකයද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් කර ඇත.
මෙයට අමතරව 2020. 06. 18 අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරන අතර විශේෂ විමර්ශන අංශය 3, ස්ථානාධිපති, රවින්ද්‍ර විමලසිරිගේ අත්සනින් යුත් අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, නීතීඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම අල් සුහරියා මද්‍රසා විද්‍යාලයට පැමිණි බවත්, අන් ජාතීන් සහ ආගමිකයන් කෙරෙහි වෛරයක් ඇතිවන ආකාරයට දේශන පවත්වා පුහුණු වීම් සිදු කළ බවට දරුවන් දස දෙනෙකුගේ නම් සඳහන් කරමින්, ඔවුන් ප්‍රකාශ ලබා දුන් බව සඳහන් කරයි.
එහිදී ඔවුන් ලබා දී ඇති ප්‍රකාශ ද අදාළ වාර්තාවේ දක්වා ඇති අතර එහි ඇතුළත් වන්නේ අප මීට පෙර සඳහන් කළ වැඩිදුර වාර්තාවේ දක්වා තිබූ කරුණුම වේ.
1.ඒ අනුව එම දරුවන්ට හමුදාමය පුහුණුවක් ලබා දී ඇත.
2.සහරාන්, ඉල්හාම්, මහේන්ද්‍රන් පුලස්තීන් නොහොත් සාරා මෙම විදුහලට නිතර පැමිණ ඇත.
3.හිජාස් හිස්බුල්ලා පැමිණ දේශන පවත්වා ඇත.
4.බෝම්බ සහ තුවක්කු පුහුණුවීම් ලබා දී ඇත.
මේ ප්‍රකාශ ඉතාම බරපතළ වන අතර මේ අනුව ඉතා සංවිධානාත්මක ස්වරූපයකින් ත්‍රස්තවාදය පුහුණු කිරීමේ කඳුවුරක් ලෙස අදාළ ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවට හැඟවේ. එසේ නම් වසර ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ ස්ථානයක මෙවැනි පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම පිළිබඳව ප්‍රදේශයේ ආරක්ෂක ප්‍රධානීන් නොදැන සිටීම පුදුම සහගත කරුණකි.
ඒ කරුණු කෙසේ වෙතත් අදාළ දරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලහත්කාරයෙන් බියගන්වා ප්‍රකාශ ලබාගෙන ඇති බව රාවයට වාර්තා විය. මේ සම්බන්ධව වන නඩු කටයුත්ත නීතීඥ නුවන් බෝපගේ විසින් මෙහෙයවනු ලබයි. ඒ අනුව අප මේ දරුවන් 26 දෙනා අතුරින් දරුවන් කිහිපදෙනෙකු සොයා ගියේ මෙහි සත්‍යතාවය සොයා බැලීමටය.
සී. අයි. ඩී. හිංසන
අදාළ දරුවෝ වයස අවුරුදු දොළහ, දහතුන සහ දාහතර වයස් කාණ්ඩයේ වෙති. ඔවුන්ගේ ආරක්ෂාව පතා අපි ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකරන්නෙමු.
එකී දරුවෝ කොළඹ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෝය. ඔවුන්ගේ පවුල්වලට බොහෝ විට ස්ථිර ආදායම් මාර්ග නොතිබූ අතර ඇතැම් දරුවන්ගේ දෙමාපියෝ මත්ද්‍රව්‍ය චෝදනා ලැබ සිරගත වී සිටිති. එසේම එම ප්‍රදේශවල නේවාසිකව විසීම තරුණ දරුවන්ගේ අනාගතය අඳුරේ හෙලීමක් බව බැලූ බැල්මට කිව හැක. මේ කරුණු සහ විශේෂයෙන්ම ආර්ථිකමය දුෂ්කරතාවන් හේතුවෙන් මේ ප්‍රදේශයේ දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීම දුෂ්කර බව අපට හමුවූ එක්තරා දරුවෙකුගේ මවක් පැවසීය.
“මෙයාගෙ තාත්ත හිරේ ඉන්නෙ. මෙයා මෙහෙ හිටියොත් ඉගෙන ගන්නෙ නෑ. ළමයි එක්ක එළියට ගිහිල්ල සෙල්ලම් කරනව. එහෙ ඒ වගේ නෑ. බයෙන් හරි වැඩ කරන්න ඕනෙ. ඒක හින්ද තමයි අපි මෙයාව එක්කගෙන ගිහිල්ල මද්‍රසා එකට දැම්මෙ. මෙයාගෙන් මේ මිනිස්සු ආවද කියල ෆොටෝ පෙන්න පෙන්න ඇහුව. මෙයා ආපු අය ආව කීව නැති අය නෑ කීව. නෑ කීවහම ඇයි ඔයා නෑ කියන්නෙ, මෙයා ඇවිල්ල තියනවනෙ කියනව. මෙයා දැකල නෑ කීවට ඒ අය පිළිගන්නෙ නෑ. මෙහාට ඇවිල්ල සාක්කි ගත්තට පස්සෙ අරගෙන ගිහිල්ලත් සාක්කි ගත්තා. මෙයාට කියල බොරු කියන්න එපා වෙඩි තියනව, කූඩුවට දානව කියල. දන්න එක දන්නව කියල කියන්න පුළුවන්, දන්නෙ නැති එකට බයකරත් කියන්න විදිහක් නෑනෙ.
“ඒගොල්ලො ඔක්කොම නරක දේවල් තමයි ඇහුවෙ. සිංහල අයත් එක්ක කතා කරන්න එපා කීවද? සිංහල ඉගෙන ගන්න එපා කීවද? එහෙම කීව නම් අපි මේ ගමේ ඉන්නවද? අපි මේ කොහොමද සිංහල කතා කරන්නෙ. අපි ආශ්‍රය කරන්නෙත් සිංහල අය.” ඇය පවසන්නීය.
දරුවාට වයස අවුරුදු දහතුනක් පමණ වේ. ඔහු ඒ තරම් ක්‍රියාශීලී බවක් නොපෙන්නුවද අපේ කතාවට ඇහුම්කන් දෙමින් අප අසලින්ම වාඩි වී සිටී. “තුවක්කු එහෙම දැකල තියනවද?” අපෙන් ඔහුට ප්‍රශ්නයක්. “සෙල්ලම් ඒව නම් දැකල තියනව.” ඔහු අපට පිළිතුරු දෙයි.
“පොඩි ළමයිනෙ. එදා මෙයා හොඳටම බය වෙලා තියනව. අඬල මාව අම්ම ගාවට එක්කගෙන යන්න කියල අඬල. එතකොට එයාල අම්මට කියන්න එපා, කියල ඩෝනට් කේක් එහෙම අරගෙන දීල. ඊට පස්සෙ මම මේක ගැන රිකාස් හාජ්ජියාර්ට කීව. මොකක්ද මේ කරදරේ අපට ඉන්ඩ විදිහක්වත් නෑ කියල. එයා කීවා ඔයාල බය වෙන්න එපා අපිට කරදරක් වෙන්නෙ නෑ කියල. රිකාස් හාජ්ජියාර් මෙයාට හරි ආදරෙයි. එයා අවුරුද්දට මෙහෙට ඇවිල්ල මෙයාල කෑම එහෙමත් දෙනව. අම්මල කොච්චර දුක් විඳිනවද හොඳට ඉගෙන ගන්න කියල කියල මෙයාලව ඉඹලා එහෙම යන්නෙ. එයා නරක මනුස්සයෙක් නම් අපි මෙයාලව එතනට දානවද?” ඇය ප්‍රශ්න කරන්නීය.
“අයිය කෙනෙක් ආව. එයා පුටුවක් තියල ඒක යටින් යන්න කීව. ඊට පස්සෙ වතුර දැම්ම. අපි කබඩි සෙල්ලම් කරා. දිනපු අයට තෑගි දුන්න.”
“ඔයාට චිත්‍රපටි එහෙම පෙන්නුවද?”
“නෑ.”
“මගෙන් ඇහුව තුවක්කු එහෙම දැක්කද, කවුරුහරි ඒව අරගෙන ආවද ඇහුව. එතකොට මම කීව, දන්නෙ නෑ කියල. එතකොට ඒ අය කීව ගෙදර යන්න දෙන්නෙ නෑ. කූඩුවට දානව කියල. ඊට පස්සෙ ෆොටෝ පෙන්නුව. මගෙන් ඇහුව මෙයාල දැකල තියනවද කියල. මම එයාලව දැකල නෑ. මම නෑ කීව. ඊට පස්සෙ කියන්න කියන්න කීව. ඊට පස්සෙ මාව තනියම අරගෙන ගියා. මාව කූඩුවට දානව කීව. එතකොට මම ඇඬුව අම්මව බලන්න ඕනෙ කියල. එතකොට එයාල අම්මට කියන්න එපා කියල බන් (බනිස්) අරගෙන දුන්න.”
“මෙයා එහෙ යන්න බෑ කියල නැවතුන. මල්ලිට අම්ම ළඟ ඉන්න පුලුවන්නම් මටන් ඉන්න ඕනෙ කියල එයා මද්‍රසා එකට යන්න බෑ කීව. ඒක නිසා අපි රිකාස් හාජ්ජියාර්ට කියල මෙයාව මෙහෙ ඉස්කෝලෙකට දා ගත්ත. මෙයා මද්‍රසා ගියපු හින්ද එක පන්තියක් පහළින් තමයි මෙයාව ඉස්කෝලෙට ගත්තෙ.” දරුවාගේ මව කියයි.
අපි තවත් නිවසකට ගියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රශ්න කළ තවත් දරුවෙකු හමුවීමටය. අප එහි යන විට අදාළ දරුවා සේම තවත් දරුවෙකුද නිවසේ විය. ඔහුද මෙකී මද්‍රසා පාසලේ ඉගනුම ලබා ඇත.
“මෙයාට ඉගෙන ගන්න පුලුවන්ද බලල මද්‍රසා එකට ගත්ත. අපට කීව එයාට උවමනා දේවල් අරගෙන දෙන්න කියල. මෙයා පුත්තලමට ගියාට පස්සෙ අපි මාසෙකට සැරයක් ගිහිල්ල මෙයාව බලල ආව. අපි කෑවත් නැතත් මෙයාව බලන්න මාසෙකට සැරයක් ගියා. අපිට සැක හිතෙන මුකුත් එතන තිබ්බෙ නෑ. සැකයිනම් අපි එයාව එක්කගෙන එනවනෙ. අඩුම ගානෙ මෙයා හරි අම්මට කියනවනෙ මෙහෙම දෙයක් උනා කියල. මාස හතරක් පහක් විතර එහෙ ඉගෙන ගත්ත, දුර වැඩි නිසා එයා අයින් උනා.” දරුවාගේ පවුලේ ඥාතීන් අප සමග පැවසීය.
“සීඅයිඩී එකෙන් මෙයාගෙන් අහද්දි මෙයාල දන්නෙ නෑ කියද්දි මෙයාගෙ ඔළුවට සීඅයිඩී එකෙන් පෑනෙන් ඇනල.”
කවුද ඇන්නෙ? අපි දරුවාගෙන් ඇසුවෙමු.
“කණ්ණාඩි දාල හිටපු කෙනෙක්.”
“මෙයාලව ආය මද්‍රසා එකකට දාන්න හදපුවහම ඒ මද්‍රසා එකෙන් කීව. මේ ප්‍රශ්නත් එක්ක මෙයාල ගත්තොත් අපේ මද්‍රසා එකටත් ප්‍රශ්න එනවනෙ, මේව ඉවර උනහම දාන්න කියල. මෙයාලව මෙහෙම ගෙදර තියාන ඉන්නත් විදිහක් නෑ.” ඇය කියයි.
මොවුන්ට පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමෙන් එය හමුවට පැමිණෙන ලෙස දන්වා එවා ඇත. මොවුන් වෙත එවා ඇති ලිපියේ සඳහන් වන්නේ, “කර්තිව්, වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි අල්සුහරියා මද්‍රසා පාසලේ ඔබ ඉගනුම ලබමින් එම පාසලේ සහරාන් විසින් සිදු කරන ලද පුහුණුවීම් කටයුතුවලට ඔබ සහභාගිවීමට අදාළව සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ඔබගේ ප්‍රකාශයක් ලබා ගැනීමට” ආදී ලෙසය. ඒ අනුව ජනාධිපති කොමිසම මේ වන විටත් මේ දරුවන් අධ්‍යාපනය ලැබූ පාසලට සහරාන් පැමිණි බවත්, ඔහු විසින් ඉගැන්වීම්වල නිරත වූ බවත් පිළිගෙන ඇත. එහෙත් මේ ළමුන්ට අනුව ඔවුන් සහරාන්ව දැක ඇත්තේ පාස්කු ප්‍රහාරයට පසු ඡායාරූප හරහාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලබන චෝදනා පදනම් විරහිත බව මේ ළමුන්ගේ කතාවලින් හෙළිවේ. එහිදි කවුරු සත්‍ය අසත්‍ය ප්‍රකාශ කරන්නේද යන්න ඉතා විධිමත්ව අධ්‍යයනය කළ යුතුය. එසේ නොවුනහොත් නිකරුනේ මේ දරුවන් අපරාධකරුවන් ගණයට වැටෙන්නේය. එය කවුරු පරීක්ෂා කළද සුපරික්ෂාකාරීව සිදු කළ යුතුව ඇත. මන්ද මේ දරුවන් ඔවුන්ට කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බැවිනි. ■