Monday, March 12, 2018

රාජාංගනයේ අරගලය

පසුගියදා තඹුත්තේගම නගරයේදී පැවති ගොවි උද්ඝෝෂණයට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද පනස් නවදෙනා මේ වන විට සිටින්නේ ඇප මත නිදහස්වය. මොවුන්ගෙන් නවදෙනකු දින කිහිපයකට පෙර ද ඉතිරි පනස් දෙනා පස්වනදා ද මෙසේ ඇප ලබා සිටිති.

මෙසේ ගොවීන් අත්අඩංගුවට ගනු ලබන්නේ උසාවි නියෝගය කඩකරමින් උද්ඝෝෂණය කිරීම සහ පොලීසියට පහරදීම යන ප‍්‍රධාන චෝදනා ද්විත්වය යටතේය. කෙසේ වෙතත් අදාළ සිදුවීමට සම්බන්ධව වීඩියෝ පට නරඹන විට පොලීසිය කි‍්‍රයාකරන ස්වරූපයේ අශීලාචාර ස්වාභාවයක් ගම්‍යවේ.
මේ සියල්ල පිළිබදව සොයා බැලීම සදහා අප රාජාංගනයට පියමන් කළෙමු. මේ ඒ රාජාංගනයේ කථාවයි.

රාජාංගනයේ ගොවින් පිළිබදව මුලින්ම පවසන්නේ රාජාංගනයේ ගොවි බිම්ය. වැඩෙන ගොයම් පදුරුය. පීදෙන කෙසෙල් කැන්ය. පතුල තෙමෙන්නට ගලා යන කුඩා ජල මාර්ගය.

මේ කෙත් කර්මාන්තයෙහි පදනම රාජාංගනය ජලාශයයි. රාජාංගනයේ පදිංචිකරුවන්ගෙන් බහුතරය රාජාංගනයට පැමිණෙන්නේ කෘෂි කර්මාන්තය උදෙසාය. කොටින්ම රාජාංගනය ජලාශයේ වතුර ගෙන ගෙවිතැන් කිරීමටය. එහෙත් වර්තමානයේ ඔවුන් මුහුණ දී ඇති ගැටලූව පිළිබදව අපට මුලින්ම පැවසුවේ ටෙරන්ස් ගාමිණී විසිනි.

‘‘වැවේ අක්කර අඩි ගාණක් තිබුණට අපිට ගොවිතැන් කරන්ඩ ඒක මදි. හරියට වැඩ කරන්ඩ වැව දෙපාරක් පිරෙන්ඩ ඕනේ. දෙපාරක් පිරුණොත් තමයි කන්නේ හරියට වැඩ කරන්ඩ පුලූවන්. පසුගිය කන්නෙවත් වැව අඩි විසි දෙකකට වඩා පිරුනේ නෑ. කන්න හතරක් අපි බාගෙට ගොවිතැන් කළේ.’’

ඒ අනුව මේ රාජාංගනය ගොවි ගම්මානය වර්තමානයේ ජල හිගයකට මුහුණ පා සිටින බව පැහැදිලිය. ටෙරන්ස් කියන මේ කතාව තහවුරු කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරයා ජල කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කරන තොරතුරුද වැදගත්වේ. ඔහු ප‍්‍රකාශ කර සිටින්නේ වගාවන් සදහා ජලය අක්කර අඩි අනූ දහසක් අවශ්‍ය බවත් ඒ ප‍්‍රමාණය දැනට ජලාශයේ නොමැති බැවින් ගොවිතැන් නොකර වැලකී සිටිම වඩා යෝග්‍ය වන බවත්ය.

අප පැමිණි බව කන වැටුනු ගොවීන් එකා දෙන්නා අප සිටී තැනට පැමිණෙන්නට වූයේ ඒ අතරේය. ඔවුන් සියල්ලන්ටම කියන්නට දෙයක් ඇති වග බැලූ බැල්මට පෙනේ. ඒ සදහා ඇත්තේ ඉවසිල්ලක් නොව නොඉවසිල්ලකි. ඇතැමෙකු ඉක්මන් වී තමන්ට සිදුවී ඇති අසාධාරණය පවසයි. එයට තවෙකෙකුද ලෙස සියල්ලන්ම එකතු වී ඇසෙන කථාව මෙසේය.

ආරම්භය

‘‘දෙදාස්දාහතේ අටවැනි මාසේ ව්‍යාපාර කමිටු රැුස්වීමට ආව ලියුමක් රාජාංගන වැවෙන් වතුර අරන් ජල ව්‍යාපෘතියේ ආරම්භ කරනවා කියලා. ඊට පස්සේ අපි කීවා අපට ලියුමකට උත්තර දෙන්ඩ බෑ. අපට මේකට අදාළ පුද්ගලයෝ ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්ඩ කියලා. ඊට පස්සේ 2017 නවවැනි මාසේ ව්‍යාපාර කමිටු රැුස්වීමෙදී තුන්දෙනෙක් ආවා. ඒ ගොල්ලෝ අපිට පෙන්නුවා විස්තරේ. පෙන්නලා කීවා නොච්චියාගම, තලාව, ගිරිබාව, රාජාංගනේ කියන ප‍්‍රදේශවලට පවුල් තිස්පන්දාහක් විතර ප‍්‍රමාණයකට මේ විදිහයට වතුර දෙනවා කියලා. එතකොට මෙතනට එන පාරිභෝගිකයන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හයක වියදමක් දරනවා කීවා. එතකොට දිනකට ඒ ගොල්ලන්ට අක්කර අඩි තිස් අටක් ඕනේ කීවා. අපි කීවා මේකට අපි සම්පූර්ණ විරුද්ධයි. රාජාංගනේ වැවේ මේක කරන්ඩ දෙන්න බෑ. පවතින තත්ත්වයත් එක්ක මේක කරන්ඩ බෑ කියලා. මේකට අපි විකල්පය විදියට කීවා වැවට යට පැත්තේ නිල බැම්මට යටින් බැම්මක් බැදලා වතුර බ්ලොක් කරලා ගන්ඩ කියලා. ඒහෙම කරලා ඒ ගොල්ලෝ ඇවිත් කියලා තියනවා මොකා විරුද්ධ වුණත් අපි මේක කරන්වා කියලා.’’

ඇයි ඔයාලා මේකට විරුද්ධ වෙන්නේ? අපෙන් අතුරු ප‍්‍රශ්නයක්.

‘‘හේතුව ඔය වගේ ජල ව්‍යාපෘති ආරම්භ කරපු වැව් තියනවා. නුවර වැව, කන්තලේ වැව, ඔය වගේ වැව්වල ඒ ගොල්ලෝ වතුර ගොවියන්ට ගන්ඩ දෙන්නෑ. සීමා කරනවා. අපට මේ වැවේ මේ ජලමට්ටමෙන් පල්ලෙහා දෙන්නේ නෑ. ඒක අපට තියාගන්නවා මෙතින් ඉහළ තිබුණොත් ඔයාලට ගොවිතැනට දෙනවා. ඒ ගොල්ලෝ කියන අංක එක බීම. අංක එක බීම වුණාට පවුල් තිස් හතළිස් දාහක් අර මිනිස්සු වෙනුවෙන් වතුර දීලා මේ මිනිස්සු සුසුම් හෙලන්ඩ ඕනේ. දැන් රාජාංගනේ දින දහයට සැරයක් වතුර ඇලේ එවනවා. ඒ ගස් කොළන්වලට සහ බීමට අවශ්‍ය තරම් ජලය වෙනුවෙන්. ව්‍යාපෘතිය ආවොත් ඒක නවතිනවා. මේක තනිකරම කාන්තාරයක් බවට පත්වෙනවා. මේ කියන සශී‍්‍රක බව නැති වෙනවා. මොකද ඇලේ එන වතුර ටික නිසා මේක මේ විදිහට තියෙන්නේ. අනික තමයි. වැවේ තියන වතුර ප්‍රොජෙක්ට් එකකටත් අරගෙන ගොවිතැනටත් ගන්ඩ මදි. ඔය ඉස්සල්ලා කීවේ එවා සම්පූර්ණයෙන් පිරුණොත් විදිය. ඒත් අපි මේ වතුර නැතුව ගොවිතැන් කරන හතරවැනි කන්නෙ. වතුර ගොවි තැනට අරගෙන ඉතුරු වුණත් නැතත් වැවේ සම්පූර්ණ වතුර ගන්ඩ බෑ. අපි බැංකුවෙන් මුදලක් දැම්මත් ඒකේ අවසානය දක්වා ගන්නේ නෑනේ. හදිස්සිම අවස්ථාවක ගන්ඩ කීයක් හරි ඉතුරු කරගන්නවා. එතකොට ඒ ප‍්‍රමාණය වැවේ ඉතුරු කරගන්නේ නියගයක් ඇල්ලූවොත් අපට බීමට හරි වැවෙන් ගන්ඩ. මේක ජල ව්‍යාපෘතියට ගත්තොත් ඒවගේ වෙලාවක අපිට වතුර ටිකක් වත් ගන්ඩ තහනම් වෙනවනේ.


අනික දැන් වැවේ අඩි දහයක රොන්මඩ තට්ටුවක් තැන්පත් වෙලා තියනවා. එතකොට ඔය කියන අක්කර අඩි ගාන වැවේ නෑ. ඒ හින්දා අක්කර අඩි දහ දොළොස්දාහක් වතුර අඩුයි වැවේ.’’ ආනන්ද උබයසිරි මහතා මෙතෙත් කතාව පැහැදිලි කර සිටී. වගකිව යුතු නිලධාරීන්ද, අමාත්‍යවරුන්ද මේ විරෝධතාව එක් ආකාරයට දේශපාලන ව්‍යාපාරයක් ස්වරූපයකින් කි‍්‍රයාත්මක වන දේශපාලන වැඩ පිළිවෙළත් බවට චෝදනා කර සිටී. එසේ එහි ගිය අපට ගොවීන්ගේ කතාබහ තුළ මෙන්ම ඔවුන්ගේ හැසිරීම් තුළ සැගවුණු දේශපාලන වුවමනාවක් දිස් වූයේ නැත. ඔවුන්ගෙන් දිස් වූයේ සැබෑ ගොවියාගේ භූමිකාවය. සැබෑ ගැටලූවට විස`දුමක් ලබා ගැනීමේ අවශ්‍යතාවයය.

‘‘මේකට කාටවත් දේශපාලන සම්බන්ධයක් නෑ. මොන දේශපාලන සම්බන්ධයක් මෙතනට ආවත් අපි ඒකට අපේ අප‍්‍රසාදය පළ කරනවා. මේක 2011 මහින්ද රාජපක්‍ෂ මහත්තයා ගෙනාවත් අපි විරුද්ධයි. අපේ මූලික පරමාර්ථය අපේ වැව බේරා ගැනීම මිසක් වෙන මුකුත් නොවෙයි. මම අවුරුදු පනහක් විතර ගොවියෙක් විදිහට අත්දැකීම් තියන කෙනෙක් අපිත් කැමති නෑ මේක කර පින්නාගෙන යන්ඩ. මම දන්න තරමින් රාජාංගනයේ වගා නොකරන්නේ තේ, රබර් විතරයි. ලංකාවේ හතර දිග්බාගේ වැවෙන අනෙක් සේරම ජාති රාජාංගනෙත් වැවෙනවා. ඒ මේ වැවේ වතුර හින්දා. දින දහයකට සැරයක් හරි වැවේ වතුර මේ ඇළවල්වල ගලාගෙන යන හින්දා. එතකොට අපි අවුරුදු පනහක් රැුක ගත්ත දේ පානීය ජලය යෝජනා ක‍්‍රමය හින්දා නැති වෙන්ඩ යන්නේ. මේක හින්දා බොන්ඩ වතුරත් වගා කරන්ඩ වතුරත් නැති වෙනවා. අන්තිමට රාජාංගනය මුඩු බිමක් වෙනවා.’’ කළුආරච්චි එසේ ප‍්‍රකාශ කරන්නේ ඈතින් පෙනෙන කෙත් යාය දෙසට නෙත යොමාගෙනය. ඔහුගේ කථාවේ ආවේගය නොව ගැබ්ව ඇත්තේ සංවේගයයි.

මෙසේ ගොවීන් ව්‍යාපෘතියට සහේතුකව විරෝධය පළ කරන විටද ව්‍යාපෘතිය අඛණ්ඩව කරගෙන යාමට නිලධාරීන් කි‍්‍රයා කිරීම මගින් පාර කැපෙන්නේ ගොවි විරෝධතාවන්ටය.

‘‘සමහරු කියනවා මේක දෙදාස් එකොළහේ පටන් ගත්ත වැඩක් කියලා. ඒත් අපට එහෙම කිසිම දැන ගැනීමක් ලැබුණේ නෑ. අපිට මේ ගැන දැනගන්න ජල කළමනාකරණ කමිටුවේදි අපි දිසාපතිට, ජනාධිපතිට මේ ගැන දැනුම් දෙනවා. ජනාධිපති නිර්දේශ සහිතව වාර්තාවක් දිසාපතිගෙන් ඉල්ලනවා. ඊට පස්සේ දිසාපති රැස්වීමක් කැදවලා ගොවි සංවිධාන හැට හතරෙන්ම නියෝජිතයෝ ගෙන්වලා පළ රහිත සාකච්ඡුාවක් කරනවා. මේ සාකච්ඡුා හින්දා අපි විසි දෙක කරන්ඩ හිටපු උද්ඝෝෂණය නවත්තලා විසි පහ නැවත සාකච්ඡුා කරලා විසි අට උද්ඝෝෂණය පවත්වනවා. අපිට ඕනේ වුණේ අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි. මේක කළොත් අපිට අසාධාරණයක් වෙනවා කියලා පෙන්නන්ඩ මිස මිනිස්සුන්ට බොන්ඩ වතුර ටිකක් දෙන එක නවත්තන්ඩ නොවෙයි. මේ මිනිස්සුන්ට බොන්ඩ වතුර ටිකක් දෙන්ඩ කියන එකම ක‍්‍රමය මේකනම් අපි ලැස්තියි හාමතේ ඉදලා හරි මිනිස්සුන්ට වතුර දෙන්ඩ’ ඒ ජයසේකරගේ කථාවයි.

ගැටුමක් හැදීම

කෙසේ හෝ පිරිස විසි අටවන දින රාජාංගනයට එකතු වන්නේ මේ ව්‍යාපෘතියට සිය විරෝධය දැක්වීම සදහාය. තඹුත්තේගම පොලීසිය ඉදිරියට ගොවීන් විරෝධතාවයේ නියැලූද ඒ වන විට කිසිවෙකු කිසිදු ආකාරයට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවනට නිරත වුයේ නැත. පොලීසිය ද ජල විදුම් රථය ගොවීන් දෙසට රැුගෙන ආවද එය නැවතත් පොලීසිය වෙතටම ගමන් කර වූයේ එහි අවශ්‍යතාවක් මතු නොවුණු තැනය. පැය තුනක් තුන හමාරක් පමණ ගතව යන තැන මේ විරෝධතාව එක් වරම පොලීසිය හා ගොවීන් අතර ගැටුමක් බවට පෙරැුලූණි. මේ ඒ පිළිබ`දව ගොවීන් කියන කතාවයි.

‘‘ඉස්සෙල්ලම සුදු ඇ`දුමක් ඇ`දගෙන බයික් එකේ මනුස්සයෙක් ආවා. ඌ තමයි ඉස්සෙල්ලම ගල් ගැහුවේ. ඊට පස්සේ මිනිස්සු ඇවිස්සුනා. මෙතන පොලිසියටත් ප‍්‍රශ්නයක් තිබ්බා. වැඬේ පැය තුනක් තුන හමාරක් ඇදිලා යද්දි ඒ ගොල්ලන්ට ඕනේ වුණේ මේක කොහොම හරි ඉවර කර ගන්ඩ. උන්ම මේක අවුස්සලා උන්ම මේක කළා. ඔය සමන් කියන මනුස්සයා තමයි වැඬේ පටන් ගත්තේ. ඔය මනුස්සයා ලොරි ඩ‍්‍රයිවර් කෙනෙක් . පොලිසියෙ පක්කිලි වැඩ ඔක්කෝම කරන්නේ ඔය මනුස්සයා’’ ඒ අනුව පොලීසිය විරෝධතා කරුවන්ට පහර දෙන්නේ ගැටුම විසුරුවා හැරීමේ උපක‍්‍රමයක් ලෙසටය. ඒ ස`දහා ඔවුන් ගොවීන් පොළඹවා ගැනීම උදෙසා ඔවුන්ගේම අධාරකරුවෙකු යොදා ගැනීමට කටයුතු කර ඇත.

ඒ අතර තවත් අයෙක් මෙසේ පවසයි. ‘‘අනුරාධපුරේ පොලිසියේ මහත්තයෙක් තමයි කීවේ මිනිස්සුන්ට ගහන්ඩ කියලා. එයා කියනවා තලාවේ උද්ඝෝෂණයකදී එයාගේ කාර් එකේ ස්කී‍්‍රන් එක කුඩු වුණාලූ. ඒ හින්දා මුන්ට ගහන්ඩලූ. මෙයා ඒ එස් පී කෙනෙක් එයා තමා ගහන්ඩ පොලිසිය මෙහෙව්වේ. අපි කිව්වා පුලූවන්නම් ගහන්ඩ, ඔහෙලාගේ දරුවොයි උඹලා කන බතුයි වහවෙනවා කියලා ගොවීන්ට ගැහුවොත්.’’

ගොවීන් ඒ සිදුවීම මතක් කරන්නේ ආවේගයෙනි. ඔවුන් සියල්ලෝම තමන්ට සිදුවූ අසාධාරණය පවසති. කවුරුත් කොතනින් පවසන්නේ දැයි නිච්චියටම කියන්නට නොහැකි තරමට මිනිස්සු පිරී තිරී සිටිති.

අමානුෂික ප‍්‍රහාරය

මේ ආකාරයට පොලීසිය ද ගොවීන්ද අතර ගැටුම ඇවිලෙන්නට වූ තැන පොලීසිය සිදු කළේ පහරදෙමින් විරෝධතාකරුවන් පමණක් නොව සාමාන්‍ය ජනයාද අත්අඩංගුවට ගැනීමය. තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට නරගයට පැමිණ ගැටුම හේතුවෙන් මංමුලාවී සිටි බොහෝ දෙනෙකු මෙසේ පොලිසියේ අත්අඩංගුවට පත්විය. සිය දියණිය රැුගෙන ඒමට පාසලට ගිය පියෙකු පැවසූ කථාව මෙසේය.

‘‘මම දුවව ගන්ඩ ඉස්කෝළේට ගියේ. යන අතර මග උද්ඝෝෂණයට මමත් අහුවුණා. එක පාරටම පොලිසියෙන් ඇවිල්ලා මාව අල්ලගෙන ගියා. මම කීවා මම දුවව ගන්ඩ ඉස්කෝලෙට ආවේ කියලා. ඒත් ඇහුවේ නෑ. ඊට පස්සේ මාව අල්ලගෙන යන ගමන් මම ගෙදරට කෝල් කරලා කීවා දුවව ගන්ඩ මාව පොලිසියෙන් අල්ල ගත්තා කියලා. අපිව අල්ලගෙන ගිහිල්ලා මොනවවත් අහන්නේ බලන්නේ නැතිව අපට බිම දාගෙන ගහගෙන ගහගෙන ගියා. මට දෙක තුනක් ගැහුවට පස්සේ පොලිසියේ කෙනෙක් කීව මූට මෙහෙම ගහලා හරියන්නෑ කියලා ඔලූව පිටිපස්සට පොල්ලකින් ගැහුවා. ඊට පස්සේ මට කලන්තේ දාලා වැටුණා. අපට මුලින් වතුර ටිකක් වත් හම්බුනේ නෑ. අපි ටොයිලට් එකේ ටැප් එකෙන් වතුර බිවේ. පස්සේ වතුර ටිකකුයි බිස්කට් වගේකුයි ගෙනත් දුන්නා. අපි කවුරුත් ඒවා කෑවේ නෑ.’’

එසේම තඹුත්තේගමට පැමිණි සියඹලන්ගමුවේ දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු ආබාධිත සෙබළෙකු වන අතර ඔහු අප සම`ග දුරකථනයෙන් සම්බන්ධ වී පැවසුවේ මෙවැන්නකි.

‘‘අපි තඹුත්තේගමට අවේ බඩු වගයක් ගන්ඩ. අපි එද්දි උද්ඝෝෂණයක් තිබ්බා. අපිට යන්ඩ විදිහක් නැති හින්දා අපි නැවතිලා හිටියා. ඊට පස්සේ පොලිසිය ඇවිල්ලා අපිව අල්ලගෙන ගියා. අල්ලගෙන ඇතුලට ගිහිල්ලා අපි ඔක්කෝම පෝලිමට තියලා ගහගෙන ගහගෙන ගියා. පොලිසියෙන් මොනවත් බැලූවේ නෑ. ආවේ මොකටද, අපි කවුද, කියන වගක්වත් බැලූවේ නෑ. මම හමුදාවේ හිටපු ආබාධිත සෙබලෙක්. ඒකවත් සලකන්නේ නැතුව මට ගැහුවා.’’

පොලිසියේ අකටයුතු කම් මෙතැනින් නවතින්නේ නැත. ඔවුහු මිනිසුන් බෝනික්කන් සේ ඔවුන්ගේ අමානුෂික තෘප්තිමත්භාවය සදහා යොදාගත්හ. ගොවීන් පවසන්නේ තඹුත්තේගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ගොවීන් බේරා ගැනීමට යම් උත්සාහයක නිරත වූ බවයි. එහෙත් ඔහුට පමණක් එය කළ නොහැකි වූයේ අනුරාධපුර පොලීසිය නිලධාරීන්ගේ හැසිරීම නිසා බව ඇතැම්හු පැවසූහ.

මේ අතරතුර උද්ඝෝෂණයට පැමිණි ගාමිණී ති‍්‍රරෝද රථයට ගොඩවන්නේ උද්ඝෝෂණයෙන් පිටව යාමටය. එහෙත් එක් වරම ති‍්‍රරෝ්ද රථයට ළ`ගට පැමිණෙන පොලිස් නිලධාරියෙක් ඔහුව ති‍්‍රරෝදයෙන් බිමට ඇද ගනී. මේ ඔහු කියන කතාවයි.

මම ගෙදර යන්ඩ ත‍්‍රිවිල් එකට නැග්ගේ නගිද්දිම පොලිසියෙන් ඇවිල්ලා ඇදලා අරන් බැටන් පොල්ලෙන් ගැහුවා. පොලූ පාර වැදුනේ කකුලේ මැදටමයි. ගහලා මාව පොලිසිය ඇතුලට අරන් ගියා. අරන් ගිහිල්ලා කකුල ඇත්තටම කැඩිලද බලන්ඩ තඹුත්තේගම එස් අයි මහත්තයා කකුල අඹරවලා බැලූවා. අඹරලා ගැහුවා. මාව පොලිසියට අරගෙන ගියේ පයින් ඇන ඇන. මට ගහලා කකුල කඩද්දි හවස තුන හමාරට හතරට විතර ඇති. මාව ඉස්පිරිතාලේ අරගෙන යනකොට ? නවය පහුවෙලා. එතකන් මාව පොලිසියේ තියාගෙන හිටියේ. මාව වාහනේට පයින් එක්කත් යන්ඩ හදද්දි මම මට කකුල බිම තියන්ඩ බෑ කකුල කැඩිලා තියෙන්නේ කියලා කිව්වා. දැන් කකුල ඉදිමිලා තියෙන්නේ. ඔපරේෂන් එකකට ඊයේ ගන්නවා කීවට ගන්ඩ බෑ. මොකද ඉදිමිලා හින්දා. ඉදිමුම වැඩි හන්දම දැන් කකුලේ දිය බිබිලි දාලා තව ඉදිමුම වැඩි වුණොත් ඒවා පුපුරනවා.’’

ගාමිණීගේ කකුල කලවයේ සිට පතුල තෙක්ම වෙලා ඇත. ඒ පතුල තඩිස්සි වි ගොසින්ය. සෙලවීමට පවා නොහැකි ඔහුගේ පාදයේ ඔතා ඇති වෙලූම් පටි සිරවන තරමටම කකුල ඉදිමී ඇත. එහෙත් ගාමිණීගේ මුහුණේ වේදනාවක් නැත. ඔහුට ඇත්තේ අධිෂ්ඨානයකි. වීර්යයකි. ගාමිණී වට කරගැනීමට බන්ධනාගාර නිළධාරීන් පැමිණි නිසා අප ඔහුව රෝහලේ තනිකර දමා පිටතට පැමිණ ඔහුගේ ඒ වේදනා බර කථාව සටහන් කර ගතිමු.

‘‘පානීය ජල යෝජනා ක‍්‍රමයකට අපි විරුද්ධ නෑ. අපි හදවතින්ම එකගයි මොන ආණ්ඩුවකින් හරි ඒ දේ කරන්ඩ ඕනේ. මාධ්‍ය අපිව හදුන්වයි බොන්ඩ වතුර ටිකක් නොදෙන කාලකන්නි විදියට. ඒත් අපි කියන්නේ රාජාංගනේ අනතුරේ නොදා. කලා ඔයෙන් වතුර ගන්ඩ කියලා.’’ කළුආරච්චි තවදුරටත් ප‍්‍රකාශ කර සිටියි.

රාජාංගනයේ ගොවීයෝ ඉල්ලා සිටින්නේ ජල ව්‍යාපෘතිය නතර කරන ලෙසට නොව ඔවුන් ගොවිතැන් කිරීමෙන් පසු නිකරුනේ මුහුදට ගලාගෙන යන කලා ඔයේ වතුර මේ ව්‍යාපෘතියට යොදා ගන්නා ලෙසයි. එය කොතරම් සාධාරණ දැයි, දැනුදු නිකරුණේ ගලා යන කලා ඔයේ ජල කද දෙස බැලූ විට වැටහේ.

කෙසේ වෙතත් මේ වන විට ජනාධිපතිවරයා සමග ගොවීන්ට සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර ගොවීන් ප‍්‍රකාශ කර සිටින්නේ එහිදී ජනාධිපතිවරයා අභිමුව ව්‍යාජ චිත‍්‍රයක් මැවීම සදහා දුමින්ද දිසානායක අමාත්‍යවරයා ගොවි සංවිධානවල නියෝජිතයන් සාකච්ඡුාවට සහභාගී කරවනවා වෙනුවට ඔහුගේ නියෝජිතයන් සහභාගී කරවීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ අනුව දුමින්ද දිසානායකගේ හැසිරීම අවුල ලෙහෙනවා වෙනුවට තවදුරටත් පටලවන ආකරයක් ගනී.

ගොවීන්ගේ අවසාන අරමුණ නම් රාජාංගනය ව්‍යාපෘතිය මුඩු බිමක් නොකරගෙන, පානීය ජල ව්‍යාපෘතියද කි‍්‍රයාත්මක කරවීමය. ඒ බව වගකිව යුතු පිරිස තේරුම් ගත යුතුය.

රසික ගුණවර්ධන 
2018-03-11 රාවය පුවත්පතට ලියන ලද ලිපිය.

5 comments:

  1. යකෝ බලාගෙන ගියාම එකේවත් උද්ගොෂනයට ආපු එවුන් නොවෙයිනේ එතකොට කෝ උන්? . කිතුලට නැග්ග එකා කිව්වෙවත් ඔයවගේ ඒවානේ ඕහේ ලියන්නෙත් ඒවගේ
    දෙයක් නේ. නරක ද මෙගා ටෙලියක තිරරචනයක් ලිව්වොත් කාරිය කියක් හරි හොයාගන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. ආපු සහ නොආපු ගොවීන්ට තමයි පොලිසිය ගැහුවෙ.ආපු උන් ගැනත් තියනව.නොආපු උන් ගැනත් තියනව.

      //මේ අතරතුර උද්ඝෝෂණයට පැමිණි ගාමිණී ති‍්‍රරෝද රථයට ගොඩවන්නේ උද්ඝෝෂණයෙන් පිටව යාමටය. එහෙත් එක් වරම ති‍්‍රරෝ්ද රථයට ළ`ගට පැමිණෙන පොලිස් නිලධාරියෙක් ඔහුව ති‍්‍රරෝදයෙන් බිමට ඇද ගනී. මේ ඔහු කියන කතාවයි.//

      Delete
  2. ගොවි නායකයින් නොකියන කරුණු;
    - රාජාංගනය ලංකාවේ ජල හිගවීම අවමම ජලාශයක් බව, බොහෝ වසරවලදී වසරකට කීප වරක් වාන් දමන බව.

    - ජංගම පානිය ජලය අලෙවිය සහ RO යන්ත්‍ර අලෙවිය මෙම ප්‍රදේශයේ ප්‍රචලිත වියාපාරයක් බව සහ එයට බලවත් වියපරිකයන් සම්බන්ද බව. බොහෝ ගොවි නායක වරුන්ද සුළු පරිමාණයෙන් පානිය ජලය අලෙවියේ දී සිටින බව.

    - පානිය ජලය ලබාදීමට නියමිත බොහෝ ගම වල ග්‍රාමීය පානිය ජල සමිති ක්රියාත්මක බවත්, එම සමිති වල අරමුදල් ගොවි නායකයන්ගේ බුදලයක් ලෙස පරිහරණය වන බවත්, ජලසම්පාදන මණ්ඩලයේ පැමිණීම තර්ජනයක් ලෙස දකින බව.

    ReplyDelete
    Replies
    1. //රාජාංගනය ලංකාවේ ජල හිගවීම අවමම ජලාශයක් බව, බොහෝ වසරවලදී වසරකට කීප වරක් වාන් දමන බව.//
      රාජංගනයේ දැනට කන්න හතරකින් පමණ ගොවිතැන් කිරීමට අවශ්‍ය තරම් ජලය නොලැබෙන බව ඔබ දන්නවාද?
      සම්පූර්නයෙන් ජලාශය පිරුණත් ඒ ජල ප්‍රමනය වගාකරන භූමි ප්‍රමානයට මදි බව ඔබ දන්නවාද?

      //ජංගම පානිය ජලය අලෙවිය සහ RO යන්ත්‍ර අලෙවිය මෙම ප්‍රදේශයේ ප්‍රචලිත වියාපාරයක් බව සහ එයට බලවත් වියපරිකයන් සම්බන්ද බව. බොහෝ ගොවි නායක වරුන්ද සුළු පරිමාණයෙන් පානිය ජලය අලෙවියේ දී සිටින බව. //
      මෙම ක්‍රියාවලිඅය (වැවෙන් වතුර දීම) පිටුපස RO යන්ත්‍ර අලෙවි කරුවන්ද සිට්න බව ඔබ දන්නවාද?එනම් ජල ව්‍යාපෘතිය හරහා ලබාදෙන වතුර බීමට ගැනීමට නම් ඒ ජලය RO යන්ත හරහා පිරිසිදු කළගත යුතුය.මෙයට සම්බඳ ගොවි නායකයන් කිහිපදෙනෙකු සිටින අතර ඔවුන් උද්ඝෝෂණයට සහභාගී නොවූ බව ඔබ දන්නවාද?
      //පානිය ජලය ලබාදීමට නියමිත බොහෝ ගම වල ග්‍රාමීය පානිය ජල සමිති ක්රියාත්මක බවත්, එම සමිති වල අරමුදල් ගොවි නායකයන්ගේ බුදලයක් ලෙස පරිහරණය වන බවත්, ජලසම්පාදන මණ්ඩලයේ පැමිණීම තර්ජනයක් ලෙස දකින බව.// රාජාංගනයට මේක අදාල නෑ බං

      Delete